ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සභා මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් කර ඇති කරුණක් සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ප්‍රබල කතිකාවක් ඇති වී තිබුණා.
ඒ අනුව එම මැතිවරණයට ඉදිරිපත් වී සිටින භාරතීන ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නොමිලේ කොරොනා වෛරස් එන්නත ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී තිබුණි.
ඇතැමුන් චෝදනා කර සිටියේ එය මැතිවරණ අල්ලසක් බවත් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවටත් චෝදනා කරමිනි. නමුත් එරට මැතිවරණ කොමිසම සඳහන් කළේ එම පොරොන්දුව නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් නොවන බවයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන සකෙට් ගොඛාලේගේ පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසම ඒ බව දන්වා තිබෙනවා.
සකෙට් ගොඛාලේ සඳහන් කළේ මැතිවරණ සමයේදී මධ්‍යම රජය විසින් මෙම පොරොන්දුව ලබා දීම තුළින් වෙනස් කොට සැලකීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම වැරදි සිදු කර ඇති බවයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලධර්ම මගින් පුරවැසියන් සඳහා විවිධ සුභසාධන කි‍්‍රයාමාර්ග සකස් කරන ලෙස රජයට අණ කර ඇති අතර එබැවින් මැතිවරණ ප්රකාශනයේ එවැනි සුභසාධනය පිළිබඳ පොරොන්දුවක් ඇතුළත් කිරීමට විරුද්ධ විය නොහැකිය” යනුවෙන් එරට මැතිවරණ කොමිසම පවසා තිබෙනවා.
